ඇරයුම

"සිහිනයට මෙහ යථාර්තය දකින්නට....."

Sunday, June 6, 2021

අවසාන මල් පෙත්ත

 


අවසාන මල් පෙත්ත මත හාදු තියලා

සුදු පාට සමනල්ලු ආලෙන් බිඳී

මදහාස දැවටිච්ච තනුවෙන් වයන්නේ

රඟපාන බඹරින්දු ඉකිලන හැටී...


දුර ඈත සන්දියක පඬු පාට අහස යට

සමුගන්න මොහොතකට පෙර කී කවී

අද රෑට සාදයක රතු රෝස මල් අතර 

මුමුණනා ගීතයට වැඩියෙන් වටී...


පැහැදෙනා රූ අතර සඟවනා රූ මතක

බර වැඩී නුඹෙ හිතට සැනසෙන් සකී

නුඹෙ නමින් හිර කෙරුව හදවතේ කොන්සතර

අද තවත් ඈ නමට මුණිවත රකී...


නිමිත්ත: "දිවිතුරා" ටෙලිනාට්‍යයෙන්

Sunday, October 11, 2020

රාජකීය ත්‍රිකෝණය




ලතා මණ්ඩප කෙලවරක අපි කතාවුණ මැදුරේ

සිනාසෙන්නට නොහැකි නම් මා නොමැති සඳ අඳුරේ

මවාගත් සිත ස්නේහයෙන්

පෙළා නෙත් මදහාසයෙන්

පින්න කැකුලක් මුළා නොකරනු මැනවි ප්‍රිය සොඳුරේ

 

කිරීටය ළඟ සිනාසෙන ඇය කුමරියක විලසින්

නෙතේ සඟවන කඳුලු දිනයක මුදාහල විගසින්

ලොවේ සිව්කොන ඔබේ නම ළඟ උරණ වනු නොරිසින්

තබාගමි මම මගේ පෙම ඔබ නොපෙනෙනා තැනකින්

 

දරා සියොලඟ අනාමික පෙම නොවී ගිනි පුපුරක්

සරා සිහිනෙක ඔබේ අත ගිලිහෙන්න පෙර මොහොතක්

ඇගේ සුසුමක වැදී විසිවුනු සිනා මල් කැකුලක්

ඔබේ හිත තව මගේ ළඟ බව කියූවග රහසක් 




Friday, July 3, 2020

මතක...



මතකයන් නිදිවරන අමාරුම                  රැයක
මධු බඳුන් තිබුනේම අත පොවන             දුරක
තුරු වදුල් පිස හමන සුලඟ වුව             විටෙක
හැමුවේම අවුලන්න ගිනි පුපුරු              හිතක

සියුමැලිම හිත් අගත් කටු පොකුරු      තිබුනා
ගොරහැඬිම හිත් වලත් මල් සුවඳ         රැඳුනා
ඇස් තෙමන් පෙර දවස් මහ ගොඩක් ගෙවුනා
හිත් පාර ගන්නැතුව හිනැහෙන්න       තිබුනා

තරුවකට පෙම් බඳින අවසාන       මොහොත
කවියෙකුට දැනෙනවා කල්පයක්               දුරට
මධු බඳුන් පිරුනාට මතක වල                  බරට
හිත් ගොඩක් මත් වුනෙම කඳුලු වල       සැරට

Saturday, April 18, 2020

සේන් ඉවුරේ...




සේන් ඉවුරේ බිඳී ඉහිරෙන 
සඳට බර වැඩි සඳ කිරණ තවරා...
මන්දහාසින් පිරී ඉතිරෙන පුරවරක්
මළානික නෙතු පියන් විනිවිද වින්දා.....

ස්වප්න සිරි ගත් සුරපුරක් මැද
අතින් අල්ලන් මාවතේ
නාඳුනන මුත් මඟ හසර නෙත රන්දා
පුරුදු නුපුරුදු උණුහුමක්  
ඔය මංමුලා වූ ජීවිතේ මැද
අතරමංවුණු මටත් ඉණිමං බැන්දා...

මන්දහාසින් පිරී ඉතිරෙන පුරවරක් මම
මළානික නෙතු පියන් විනිවිද වින්දා.....

සුමුදු සුකොමළ සිනා කැන් පිරි
මලින් සැරසුනු මාවතේ
නුරා නෙත්සර තුටින් ඉවසන් 
නුඹම මට කිව් හින්දා
පැරීසිය මං සරතැසින් වුව වින්දා..

සේන් ඉවුරේ බිඳී ඉහිරෙන ............

(නිමිත්ත: ප්‍රංශ පෙම්වතා කෘතිය ඇසුරින්)

Wednesday, February 6, 2019

මං නුඹව දන්නවා රාවණා...



උඹට උන් මේ තරම් පද හදපු වගක් මං
දැනන් උන්නේම නෑ  රාවණා
සීතාට වහ වැටුණු සල්ලාලයෙකු වගක්
ලියා තිබු පොත අතින් ගිලිහුණා

ආලකම් පුරෝගෙන මං ගාව දැවටිච්ච
උඹව සිහි වී කඳුලු වෑහුණා
මං ගාව විතරක්ම උඹේ හිත ගැහුණු වග
කෑ ගසා කියන්නට බැරි උනා

තේජසින් ඉතිරිච්ච උඹේ ඇස් වල ඇඳුණු
ඉනාවක් තිබුනනම් මා පරදනා
මෙදෙරණට බැඳුණු හිත වගත් මං දන්නවා
ගලවගන්නට මටත් බැරි උනා

මේ කතා උහුලන්න තරම් උඹ නෑ හයිය
දන්නවා මං හොදට රාවණා
උඹ ඉඳපු නින්දේම තව ටිකක් කල් ඉන්න
නෑහෙන්න උන් කරන චෝදනා

ගිනි අරන් දැවෙද්දී රාමායනේ උන්ගෙ
පුරාවත මං උඹේ ලියනවා
එයින් මතු ඇහැරෙන්න මන්දෝදරී තවත්
උඹ ළඟම එහෙම්මම ඉන්නවා.....



Sunday, January 13, 2019

ඉපදිලා දුවෙක්...


ඉත්ත නොදැනම 
පිපුනාට පොඩි මලක්
අත්ත හිටියේ 
හීන බල බල කලක්

තිත්ත පස් වල
හොය හොයා දිය බිඳක්
මලට දුන්නෙම 
පැත්ත නොබලපු මුලක්

Saturday, January 12, 2019

ඇස් මානයෙන්...
























ඇස් මානයෙන්... ඔබ දුර ගිහින් නෑ
ඔය නෙතු කැල්ම මට නුහුරු නෑ.....
සිසිරය ඇවිත්... උණුහුම අරන් යන්න
වස්සානෙ මට අයිති නෑ.............

සොඳුරියෙ ඉතින්... සිනාසෙන්න දැන්
ඇති නේද කිතිකැව්ව මගෙ හිත හොරෙන්
මල්වැහි අරන්... එනවද ඉතින්....
සිසිරයට ඉඩ දෙන්න මගෙ හිත හදන්

ඇස් මානයෙන් ඔබ දුර ගිහින් නෑ.....

දරාගන්න මේ... සුපෙම්වත් හැඟුම්
හිත් මානෙ ගැවසෙන්න හසරැල් අරන්
හුරු නැති සුසුම් ඇයි තවම මන් ගාව
ලෙන්ගතු මදිද ඔබෙ හීන විජිතයට මං......

සොඳුරියෙ ඉතින්... සිනාසෙන්න දැන්
ඇති නේද කිතිකැව්ව මගෙ හිත හොරෙන්

ඇස් මානයෙන් ඔබ දුර ගිහින් නෑ.....

පාර කියනා තාරකා



පාර කියනා තාරකා එළි
ලඟින් හිඳගෙන මිමිණුවට
වස්සානයට ඔය හිත දුවන්නේ නෑ

හීත දිය රැළි මතින් දිව එන
හුළඟ හිත ලඟ වැතිරුනත්
ගිම්හානෙ පිච්චුණු හිත නිවෙන්නේ නෑ

තාලයට අත වනන තුරුපත්
පේළියට හිඳ වයන පදවැල්
සවනකට රසවිත ගේන්නේ නෑ

පාන මඳහස ලෝබ නැතුවම
පේන කන්දට විසිකරන්නට
තාම නුඹ ළඟ හීන මියැදුන් නෑ