ඇරයුම

"සිහිනයට මෙහ යථාර්තය දකින්නට....."

Wednesday, February 6, 2019

මං නුඹව දන්නවා රාවණා...



උඹට උන් මේ තරම් පද හදපු වගක් මං
දැනන් උන්නේම නෑ  රාවණා
සීතාට වහ වැටුණු සල්ලාලයෙකු වගක්
ලියා තිබු පොත අතින් ගිලිහුණා

ආලකම් පුරෝගෙන මං ගාව දැවටිච්ච
උඹව සිහි වී කඳුලු වෑහුණා
මං ගාව විතරක්ම උඹේ හිත ගැහුණු වග
කෑ ගසා කියන්නට බැරි උනා

තේජසින් ඉතිරිච්ච උඹේ ඇස් වල ඇඳුණු
ඉනාවක් තිබුනනම් මා පරදනා
මෙදෙරණට බැඳුණු හිත වගත් මං දන්නවා
ගලවගන්නට මටත් බැරි උනා

මේ කතා උහුලන්න තරම් උඹ නෑ හයිය
දන්නවා මං හොදට රාවණා
උඹ ඉඳපු නින්දේම තව ටිකක් කල් ඉන්න
නෑහෙන්න උන් කරන චෝදනා

ගිනි අරන් දැවෙද්දී රාමායනේ උන්ගෙ
පුරාවත මං උඹේ ලියනවා
එයින් මතු ඇහැරෙන්න මන්දෝදරී තවත්
උඹ ළඟම එහෙම්මම ඉන්නවා.....



Sunday, January 13, 2019

ඉපදිලා දුවෙක්...


ඉත්ත නොදැනම 
පිපුනාට පොඩි මලක්
අත්ත හිටියේ 
හීන බල බල කලක්

තිත්ත පස් වල
හොය හොයා දිය බිඳක්
මලට දුන්නෙම 
පැත්ත නොබලපු මුලක්

Saturday, January 12, 2019

ඇස් මානයෙන්...
























ඇස් මානයෙන්... ඔබ දුර ගිහින් නෑ
ඔය නෙතු කැල්ම මට නුහුරු නෑ.....
සිසිරය ඇවිත්... උණුහුම අරන් යන්න
වස්සානෙ මට අයිති නෑ.............

සොඳුරියෙ ඉතින්... සිනාසෙන්න දැන්
ඇති නේද කිතිකැව්ව මගෙ හිත හොරෙන්
මල්වැහි අරන්... එනවද ඉතින්....
සිසිරයට ඉඩ දෙන්න මගෙ හිත හදන්

ඇස් මානයෙන් ඔබ දුර ගිහින් නෑ.....

දරාගන්න මේ... සුපෙම්වත් හැඟුම්
හිත් මානෙ ගැවසෙන්න හසරැල් අරන්
හුරු නැති සුසුම් ඇයි තවම මන් ගාව
ලෙන්ගතු මදිද ඔබෙ හීන විජිතයට මං......

සොඳුරියෙ ඉතින්... සිනාසෙන්න දැන්
ඇති නේද කිතිකැව්ව මගෙ හිත හොරෙන්

ඇස් මානයෙන් ඔබ දුර ගිහින් නෑ.....

පාර කියනා තාරකා



පාර කියනා තාරකා එළි
ලඟින් හිඳගෙන මිමිණුවට
වස්සානයට ඔය හිත දුවන්නේ නෑ

හීත දිය රැළි මතින් දිව එන
හුළඟ හිත ලඟ වැතිරුනත්
ගිම්හානෙ පිච්චුණු හිත නිවෙන්නේ නෑ

තාලයට අත වනන තුරුපත්
පේළියට හිඳ වයන පදවැල්
සවනකට රසවිත ගේන්නේ නෑ

පාන මඳහස ලෝබ නැතුවම
පේන කන්දට විසිකරන්නට
තාම නුඹ ළඟ හීන මියැදුන් නෑ

Sunday, January 6, 2019

හඳ හාවාට



හඳ අයිති නම් අහසට සින්නක්කරට
වෙන කාට නම් අයිතිද එහි අඳුරු පට
අවිහිංසකව හිනැහුණු හඳ හාවාට
බැඳි පෙම එහෙමමයි දුටුවට ආවාට

පුරහඳ නොදැක්කත් දැන් දැන් ඇස් අස්සේ
අටවක වුනත් සිහිලයි මට තුන් තිස්සේ
සඳ කැන් වැටෙන් නැති දවසක තණ බිස්සේ
ඉන්නම් දරාගෙන තරු ඔච්චම් අස්සේ

නෙක කැටයමින් ඔපගත් රිවි කිරණකට
අහසක් විවර නොම වෙයි සඳ එළිය යට
නෙක විසිතුරින් පිරුනත් හිමිදිරිය හෙට
සඳ නැති ලොවක හෙට මට රජ කිරුළු මොට